Friday, September 1, 2017

HTML සරලව ඉගෙන ගනිමු - 4 කොටස


මතකනේ ඔයාලා ගිය post එකෙන් html tags ඉගෙන ගන්න පටන් ගත්තානේ. අදත් අපි තව වැදගත් HTML Tag කිහිපයක් හඳුනාගනිමු. 

Heading Tags :
වෙබ් පිටුවක ශිර්ෂ ලිවීම සඳහා Heading tags භාවිතා කළ හැකිය. මෙහි අවස්ථා කිහිපයකි. 

<H1> This is paragraph </H1>  - අකුරු ප්‍රමාණය විශාලම 
<H2> This is paragraph </H2>
<H3> This is paragraph </H3>
<H4> This is paragraph </H4>
<H5> This is paragraph </H5>
<H6> This is paragraph </H6> - අකුරු ප්‍රමාණය කුඩාම


Paragraph and Break Tags :
වෙබ් පිටුව මත ඡේද ලිවීමට <P> </P> යන pair tag භාවිතා වේ. එසේම සකසන ඡේදයේ පේළි වෙන් කිරීම සඳහා <br/> single tag එක භාවිතා වේ. හොඳයි ඔයාලා පහත උදාහරණය කරලා බලන්නකෝ.



දැන් පහලින් තියෙන්නෙ result එක. බලන්න පොඩි අවුලක් තියෙනවා නේද? මම පේළි වෙන් කරලා තියෙන තැනින්ම browser එකේ පෙන්නන්නෙ නෑ නේද? මම ඡේද දෙකකට වෙන් කරලා ටයිප් කරලත් එහෙම පෙන්නලත් නෑ  නේද?


මොකක්ද අපි කරන්න ඕනා. හරි දැන් ඔයාලා ආයෙත් පහල තියෙන විදියට edit කරලා බලන්න. මම දැන් <P> tag 2 ක් දාලා තියෙන්නෙ. ඒ වගේම අවශ්‍ය තැන් වලට <BR> tags දාලා තියෙන්නෙ. එතකොට ගැටළුව විසඳිලා නේද?


මේ තියෙන්නෙ result එක,




දැන් ඔයාලට පුළුවන් word වල වගේම ඡේද Align කරන්න. (ඒ කිව්වෙ ලිපිය browser එකේ වමට, දකුණට, මැදට ගන්න පුළුවන් කියලා) පොඩි වැඩයි කරන්න තියෙන්නෙ. <P> tag එකට Align attribute එක එකතු කරන්න ඕනා. 


<P ALIGN="LEFT/RIGHT/CENTER/JUSTIFY"> 

උඩ තියෙන VALUE 4 න් එකක් දාලා කරලා බලන්නකෝ.  අනිවා වැඩ කරනවා. පහල තියෙන්නෙ මම උඩ උදාහරණ වලට ගත්ත ඡේද දෙක CENTER හා RIGHT ALIGN වලට දාලා ගත්ත image එකක්. ඔයත් කරලා බලන්නකෝ.


Update:
Justify attribute එක ලබාදෙන්නේ නම් <br/> භාවිතා කරන්න එපා. මේකෙන් ඡේදයේ දෙපැත්ත ( වම හා දකුණ ) සමබර කරන නිසා අපිට අවශ්‍ය තැනින් පේළි වෙන් කරන්න එපා.


හොඳයි අදට ඇති! ඔය ටික කරලා හොඳින් පුරුදු වෙන්න. 5 වෙනි post එකෙන් හමුවෙමු. ඔයාලගෙ අදහස් comment කරන්න. ඔයාලට පුළුවන් Facebook Fanpage එ‍කටත් එන්න. ඒ වගේම දන්න හැමෝටම Share කරලා මටත් සහයක් දෙන්න. හැමෝටම ජයවේවා - සුභ දවසක් !





Tuesday, August 22, 2017

HTML සරලව ඉගෙන ගනිමු - 3 කොටස


ආයුබෝවන්..! කලින් post එක කියෙව්වා නම් දැන් ඔයාලා දන්නවා කොහොමද සරල වෙබ් පිටුවක් notepad මගින් හදා ගන්නේ කියලා. සමහරු කියනවා තේරුනේ නෑ කියලා. මං ඇහුවා පළමු post එක කියෙව්වාද කියලා, මෙන්න බොලේ කියාපිය නෑ දෙවැනි එකයි බැලුවේ කියලා. ඉතින් මට තව කියන්න දෙයක් නෑනේ. බ්ලොග් එකට අළුතෙන් එන අය post කියවනවානම් මුල ඉඳන් කියවන්න ඕන. නැතිනම් පාඩම් තේරෙන්නේ නෑ. 

හොඳයි අද මං ඔයාලට කියල දෙන්න හදන්නේ Html tags ගැන.(මේ tag වලට 11 වසරේ සිංහල ICT අච්චු පොතේ කියන්නෙ උසුලනය කියලා) අනේ මන්දා මේකට ටෑග් කිව්වානම් මොකද, ඔය වගේ මෝල් වචන සෙට් එකක්ම තියෙනවා. සිංහලෙන්ම ICT වචන දෙන නිසා තමයි සමහර ළමයි ICT නාන්නෙ. 

1.  <html> </html> - මෙම ටැග් යුගලය තමයි වෙබ් පිටුවක අාරම්භක හා අවසාන ටැග් යුගලය.

2.  <head></head> - වෙබ් පිටුවක නොපෙන්වන, එනම් බ්‍රව්සර් එකට අවශ්‍ය තොරතුරු ඇතුලත් කිරීමට යොදා ගනී.

3.  <title> </title> - head ටැග් යුගලය අතර සකස් වේ. මෙමගින් වෙබ් පිටුවට අදාලව බ්‍රව්සර් ටැබ් එකට මාතෘකාවක් යෙදිය හැක.

4.  <body> </body> - වෙබ් පිටුවේ අන්තර්ගත තොරතුරු වලට අදාල සියලු ටැග් ඇතුලත් වන්නේ මෙම ටැග් යුගලය අතර වේ. ඊට අමතරව වෙබ් පිටුවේ පසුබිම අලංකරණය සඳහා body tag එක යටතේ attributes කිහිපයක් භාවිතා වේ.
  • bgcolor="blue" - පසුබිමට වර්ණයක් ලබාදීම
  • background="xxx image path with extension" - පසුබිමට රූපයක් ඇතුලත් කිරීම
  • text="yellow" - සියලු පාඨ කොටස් සඳහා පොදු වර්ණයක් සකස් කිරීම
  • bgproperties="fixed" - පසුබ්ම් ඡායාරූපය scroll වීම වලක්වයි. content එක පමණක් scroll (ඉහල පහල යෑම) වේ.
දැන් අපි ඉහත ටෑග් භාවිතා කර වෙබ් පිටුවක් ලියල බලමු නේද? හරි එහෙනම් notepad open කරගෙන පහළ තියෙන විදියට ටයිප් කරල ඔයා කැමැති නමකින් save කරගන්න. මතකනෙ save කරන විදිය. මතක නැතිනම් දෙවැනි පාඩමේ තියෙනවා save කරන විදිය.

<html>
<head>
<title> First Web Site </title>
</head>
<body bgcolor="blue" text="yellow">
     This is paragraph colored with yellow
</body>
</html>

මේක save කරලා html file එක open කරාම පහල පේන විදියට තියෙන්න ඕන.


හරි දැන් අපි පොඩි වෙනසක් කරලා බලමු. 

<html>
<head>
<title> First Web Site </title>
</head>
<body background="img0.jpg" text="yellow">
This is paragraph colored with yellow
</body>
</html>

මම bgcolor අයින් කරලා background attribute එක දැම්මා. ඔයාලා පින්තූරයක් දානවානම් මුලින්ම ඒ පින්තූරය html file එක save කරන තැනට copy එකක් දා ගන්න. නැත්නම් පින්තූරය පෙන්නන එකක් නෑ. අපි බලමු මම දාපු image එකත් එක්ක පෙන්නන විදිය. 


තව දෙයක් color වල නම් වලින් දෙන එක මම අනුමත කරන්නෙ නෑ. ඔයාලට තේරුම් ගන්න පහසු වෙන්න තමයි මම ඒවට නම් පාවිච්චි කලේ. හොඳම දේ තමයි hex color code පාවිච්චි කරන එක. පහල තියෙන්නේ ප්‍රධාන වර්ණ සඳහා hex values ටික.

ඔයාට කරන්න තියෙන්නෙ වර්ණයේ නම දෙනවා වෙනුවට hex value එක දෙන එකයි. පහත උදාහරණය බලන්නකො.

<html>
<head>
<title> First Web Site </title>
</head>
<body bgcolor="0000FF" text="FFFF00">
     This is paragraph colored with yellow
</body>
</html>

වෙනස් කරලා save කරලා open කරලා බලන්නකෝ. දැනටමත් browser එක open වෙලා නම් තියෙන්නෙ F5 ඔබලා refresh කරන්න. එතකොට අලුතෙන් save කරපු කොටස වැඩ කරනවා. 

ඔය ටික කරලා හොඳට පුරුදු වෙන්න. තව දවසක අලුත් post එකකින් හම්බවෙමු. ඔයාලගෙ අදහස් comment කරන්න. ඔයාලගේ comment වලින් තමයි මම තවත් පන්නරය ලබන්නේ. ඔයාලට පුළුවන් Facebook Fanpage එ‍කටත් එන්න. ඒ වගේම දන්න හැමෝටම Share කරලා මටත් සහයක් දෙන්න. හැමෝටම ජයවේවා !



Sunday, August 20, 2017

දත්ත හා තොරතුරු හඳුනා ගැනීම



මේ කියන්න යන දේ ගොඩක් අයට පැටලෙන දෙයක්. ඒ තමයි දත්ත හා තොරතුරු වෙන් කරලා හඳුනාගන්න එක. දත්ත, තොරතුරු කියන වචන දෙකේ බැලු බැල්මට ලොකු වෙනසක් පේන්නෙ නෑනේ. ඒත් මේ වචන දෙකේ තේරුම් එකකට එකක් වෙනස්, ඒත් එකට බැඳිලා තියෙන්නෙ.

දත්ත කියන්නෙ පුද්ගලයන්, ස්ථාන, ව්‍යාපාර, ගනුදෙනු ව‍ගේ එක එක ක්‍රියා නිසා ඇතිවෙන සකස් නොවූ මූලික කරුණු වලට. දත්ත වල කිසිම සංවිධානාත්මක බවක් එහෙම නැත්නම් කිසි පිළිවෙළක් නෑ. වචන, අකුරු, ඉලක්කම්, රූප, සංකේත, ශබ්ද වගේ දේවල් වලට දත්ත කියල කියන්න පුළුවන්. දත්ත මගින් අවසන් නිගමනයන් බොහෝ අවස්ථාවලදී ගන්න බෑ. 
පහළින් තියෙන්නෙ දත්ත වලට උදාහරණ ටිකක්.

  • පන්තියක සිසුන්ගේ නම්
  • කැලයක තියෙන ගස්
  • කඩයක ඇති පොල් ගෙඩි
  • වේලාව
  • වයස 
  • නිළනොවන ඡන්ද ප්‍රතිඵලය
  • පෑනක මිළ               වගේ දේවල් දත්ත විදියට සලකන්න පුළුවන්.
තොරතුරු කියන්නෙ සරලව කියනව නම් දත්ත අර්ථවත් විදිහට, ප්‍රයෝජනයක් ගන්න පුළුවන් විදිහට සකස් කළාම ලැබෙන සැකසූ කරුණු වලට. තොරතුරුත් රූප, ශබ්ද, අකුරු වලින් තියෙන්න පුළුවන්. තොරතුරු වලින් නම් නිගමන/තීරණ ගන්න හැකියාව තියෙනවා. මේ තියෙන්නෙ තොරතුරු වලට උදාහරණ ටිකක්. 

  • පන්තියක සිසුන්ගේ දිනපතා පැමිණීමේ ලේඛනය
  • කැලයක ඇති මීටර 20ට වඩා උස කළුවර ගස් 50ක්
  • කඩයක ඇති මිළ දර්ශකය
  • රිසිට්පත්
  • ප්‍රගති වාර්තා 
  • නිළ ඡන්ද ප්‍රතිඵලය      ආදි කරුණු තොරතුරු ලෙස දැක්විය හැකියි.
ඕන වෙලාවක දත්තයක් තොරතුරක් විදිහටත් තොරතුරක් දත්තයක් විදිහටත් එකිනෙකට සම්බන්ධ කරලා හසුරුවන්න පුළුවන්. තොරතුරත් සැකසූ සැනින් එහි වටිනාකම වැඩි අතර, කාලය ගෙවෙත්ම එහි වටිනාකම අඩුවේ. මෙය තොරතුරක 'ස්වර්ණමය නීතිය' ලෙස දක්වයි. 

දත්ත නිසි කළමණාකරනයකින් තොරතුරු බවට පත් කරන ක්‍රියාවලියට දත්ත තොරතුරු සැකසීම (data processing) කියලා කියනවා. දත්ත සකස් කරන්න අපිට උපකරණ නැතත් පුළුවන්නෙ. ඒත් අද කාලෙ නම් දත්ත සකස් කරන එක ගැන කතා කරනකොට වැඩි තැනක් ලැබෙන්නෙ කොම්පියුටර් වලට තමයි.
තොරතුරු ගැන තව ටිකක් තියෙනව කියන්න. GIT විෂය නිර්දේශයෙ තියෙනව මේ ටිකත්. මේ තියෙන්නෙ තොරතුරුවල හැටි. එහෙම නැත්නම් තොරතුරුවල ලක්ෂණ/ගුණාංග.

  • අදාල බව (ප්‍රායෝගික අවස්ථාවකට නැත්නම් තත්වෙකට පාවිච්චි කරන්න පුළුවන් වීම.)
  • සම්පූර්ණ බව (ප්‍රායෝගික අවස්ථාවක් නැත්නම් තත්වයක් ගැන සේරම දේවල් දැනගන්න පුළුවන් වීම.)
  • කාලෝචිත බව (ඕන වෙලාවක ගන්න පුළුවන් වීම වගේම ප්‍රමාදයන් නිසා කල් ඉකුත් නොවීම.)
  • විශ්වාසවන්ත බව
  • ප්‍රායෝගික බව
  • තේරුම් ගත හැකි බව 
ඔයාලගෙ අදහස් comment කරන්න. නැත්නම් ඔයාලගෙ අදහස් Facebook Fanpage එ‍කට ඇවිත් කියන්නත් පුළුවන්...! ලිපි share කරන්නත් ලිපියෙ පහළින් පහසුකම් තියෙනවා. ඉතින් ඒවත් පාවිච්චි කරලා ඔයාලගේ පන්තියට උදව් කරන්න...!



Friday, August 11, 2017

පරිගණකයේ ඉතිහාසය


කොහොමද හැමෝටම ! ඔයාලා හැමෝටම පරිගණක ඉතිහාසය ගැන කියලා දෙන්නයි හදන්නේ. ලාංකික අපිට නම් පරිගණක පාවිච්චි කරන්න ලැබිල වැඩි කාලයක් නෑනෙ. ඒත් පරිගණකය කියන යන්ත්‍රයේ දියුණු වීම මෑත කාලෙදි සිද්ධ වුණත් පරිගණකයේ මූලික සංකල්ප ගැන ඉතිහාසය අවුරුදු දහස් ගාණක් ඈතට කතා කරන්න පුළුවන්. එහෙනම් අපි මුල ඉඳලා කරුණු විදිහට පරිගණකයේ ඉතිහාසය ගැන කතා කරමු. මේක ටිකක් දිග ‍ලිපියක්. හෙමිහිට කියවන්න.

පරිගණකය කියන්නෙ ගණිතමය උපකරණයක්. ඉතින් ලෝකයෙ පළවෙනි ගණිතමය උපකරණය විදිහට හඳුන්වන්නෙ "ඇබකසය". ඒක මුලින්ම හැදුවෙ ක්‍රි.පූ. 5000 - 3000 අතර කාලෙදි චීන ජාතිකයින් විසින්. ඊට පස්සෙ ඒක අනෙක් රටවල් වලත් පාවිච්චි කරන්න පටන් ගත්තා.
ඇබකසයේ මූලධර්ම වලින් තමයි ගණක රාමුව හැදුවෙ. ක්‍රි.ව. 1614 දි ස්කොට් ජාතික ජෝන් නේපියර් "නේපියර් බෝන්ස්" කියන උපකරණය හැදුවා. 

ලෝකෙ පළවෙනි "ගණක යන්ත්‍රය" හැදුවෙ 1642 දි. ඒක හැදුවෙ ප්‍රංශ ජාතික ‍බ්ලේස් පැස්කල්. මේ යන්ත්‍රය "පැස්කලයින් යන්ත්‍ර‍ය" කියල වගේම "ඇඩිං මැෂින්" (Adding Machine) කියලත් හඳුන්වනවා. මේ යන්ත්‍රයෙන් කරන්න පුළුවන් වුණේ එකතු කිරීම හා අඩු කිරීම විතරයි.

1674 දි පැස්කලයින් යන්ත්‍රය වැඩිදියුණු කරලා ජර්මන් ජාතික වොන්ලිබ්නස් , "රෙකෝනර්" කියන යන්ත්‍රය හැදුවා. ඒක එකතු කිරීම, අඩු කිරීම, ගුණ කිරීම හා බෙදීම කියන ගණිත කර්ම 4ම කරන්න පුළුවන් විදිහ‍ට හදපු පළවෙනි යන්ත්‍රය විදිහටත්, දශම සංඛ්‍යා ක්‍රමයේ යාන්ත්‍රික ස්වරූපය දකින්න තිබ්බ පළවෙනි යන්ත්‍රය විදිහටත් ඉතිහාසගත වෙනවා. 

1823 දි බ්‍රිතාන්‍ය ජාතික චාල්ස් බැබේජ් සම්පූර්ණයෙන්ම ඇබකසයේ මූලධර්ම පාවිච්චි කරලා "ඩිෆරන්ස් එන්ජින්" නිර්මාණය කළා.

1833 දි එතුමා විසින්ම ඒ යන්ත්‍රය වැඩිදියුණු කරලා "විශ්ලේෂක එන්ජිම" (Analytical Engine) හැදුවා. ඒකෙ තමයි අද තියෙන පරිගණකවල මූලික සංකල්පය වෙන Input > Process > Output කියන ‍සංකල්පය මුලින්ම දකින්න තිබුණෙ. ඒ වගේම වැඩසටහනක් මගින් ක්‍රියාත්මක වෙච්ච ලෝකයේ පළවෙනි යන්ත්‍රය තමයි විශ්ලේෂක එන්ජිම. මේ යන්ත්‍රය හැදුවට පස්සෙ පරිගණක ඉතිහාසය ගොඩක් වෙනස් වුණා. මේ කරුණු හින්දා චාල්ස් බැබේජ් පරිගණකයේ පියා විදිහට හඳුන්වනවා.

පරිගණකයේ මව විදිහට හඳුන්වන්නෙ විශ්ලේෂක එන්ජිමට වැඩසටහන් ලියපු බ්‍රිතාන්‍ය ජාතික ඇඩා ඔගස්ටා ලව්ලේස්. ඇය තමයි මුලින්ම දෙකේ පාදයේ සංඛ්‍යා ක්‍රමය පරිගණකයට හඳුන්වල දුන්නෙ. ඒ වගේම ඇය ලෝකයේ පළමු ක්‍රමලේඛිකාව විදිහටත් ඉතිහාසගත වෙනවා.


1939 දි ජෝන් වින්සන්ට් ඇටෙනසොෆ් "ABC" (Atenasoff Berry Computer) කියන පරිගණකය හැදුවා. 
1944 දි හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ හොවාඩ් එයිට්කන් " මාර්ක් 1 " (Mark 1) කියන පරිගණකය හැදුවා. ඒකට IBM ආයතනයෙත් සහයෝගය ලැබුණා. සකසපු දත්ත තොරතුරු පිටතට ගත්තෙ ටයිප්රයිටරයක් පාවිච්චි කරලා. මේ පරිගණකයට එකපාර විද්‍යුත් යාන්ත්‍රික යොමු කිරීම් 3,000 ක් විතර කරන්න හැකියාව තිබුණා. ඒ කොහොම වෙතත් මේකෙ ප්‍රමාණය නම් ගොඩක් විශාලයි. මේක ටොන් ගාණක් බර යන්ත්‍රයක් කියල තමයි කියන්නෙ.


1946 දි තමයි ලෝකයෙ පළවෙනි විද්‍යුත් සංඛ්‍යාත පරිගණකය හැදුවෙ. ඒකෙ නම තමයි "ඊනියැක්" (ENIAC - Electronic Numerical Intergrator And Calculator). ඒකට රික්ත නල (Vaccum Tubes) තාක්ෂණය පළවෙනි වතාවට පාවිච්චි කළා. මේක හැදුවෙ පෙනිසල්වේනියා විශ්වවිද්‍යාලයේ J.P. එකර්ට් හා J.W. මවුලි කියන දෙන්නා. මේකට රික්ත නල 14,000 ක් විතර පාවිච්චි කරල තියෙනවා. ඒ හින්දම මේක තියන්න වර්ග අඩි 300 ක විතර කාමරයක් ඕන වෙලා තියෙනවා. ඒ ව‍ගේම මේක වැඩ කරද්දි ඒ අවට හැම තැනම විදුලි බලය අක්‍රිය වෙලා තියෙනවා. ඒකෙන්ම හිතාගන්න පුළුවන්නෙ මේකට කොච්චර විදුලි බලයක් ඕන වුණාද කියලා! මේ පරිගණකයට එකපාර විද්‍යුත් යාන්ත්‍රික යොමු කිරීම් 5,000 ක් විතර කරන්න හැකියාව තිබුණා. 
1947 දි එනිඇක් පරිගණකය හදපු අය ලෝකයේ පළවෙනි පරිගණක සමාගම වෙන "එකර්ට් මවුලි පරිගණක සමාගම" (Eckert Mauchly Computer Cooperation) පිහිටෙව්වා.
1947 දි පරිගණක ඉතිහාසයෙ ලොකු වෙනසක් සිද්ධ වුණා. ඒ තමයි "ට්‍රාන්සිස්ටරය" ලෝකයට හඳුන්වල දීපු එක. ඒක කළේ ඇමරිකාවෙ බෙල් රසායනාගාරයෙ සේවය කරපු විලියම් ෂොක්ලි, ජෝන් බාර්ඩීන්, වෝල්ටර් බ්‍රිටේන් කියන තුන් දෙනා. ට්‍රාන්සිස්ටරය පාවිච්චි කරන්න පටන් ගත්තට පස්සෙ ලොකුවට හදපු පරිගණක ටික ටික පුංචි වෙන්න පටන් ගත්තා. ට්‍රාන්සිස්ටරය ලෝකෙට කොච්චර වැදගත් වුණාද කිව්වොත් 1956 දි වසරේ හොඳම භෞතික විද්‍යා උපකරණයට හිමි ‍නොබෙල් සම්මානයත් ඒකට හම්බ වුණා. 

1950 දි "ACE" කියන පරිගණකය නිර්මාණය වුණා.
1951 දි ENIAC හදපු අයම "යුනිවැක්" (UNIVAC - UNIvarsal Automatic Computer) කියලා පරිගණකයක් හැදුවා. ඒකට එකපාර විද්‍යුත් යාන්ත්‍රික යොමු කිරීම් 10,000 ක් විතර කරන්න හැකියාව තිබුණා. මේකෙ මිල ඇමරිකානු ඩොලර් මිලියනයක් වුණා. 

1953 දි IBM සමාගම "Model 650" කියන පරිගණකය හැදුවා. 1969 දි නිෂ්පාදනය නවත්තනකොට ඒ වර්ගයේ පරිගණක 1,600 ක් විතර හදලා තිබුණා.
1956 දි IBM සමාගම ලෝකයේ පළවෙනි දෘඩ තැටිය (hard disk) හැදුවා. හැබැයි අද තියෙන ඒව වගෙ පොතක් තරම් නම් පොඩි නෑ. ශීතකරණ දෙකක් විතර ලොකුයි. ඒත් මේකෙ ගබඩා කරන්න පුළුවන් වුණේ නම් 4MB ටත් අඩු දත්ත ප්‍රමාණයක් විතරයි. 

1960 දි "Digital Equipment Coperation" කියන සමාගම යතුරු පුවරුවක් හා මොනිටරයක් තිබ්බ මුල්ම පරිගණකය වෙන "PDP 1" නිර්මාණය කළා.
1963 දි ඩග්ලස් එංගල්බර්ට් ලෝකයේ පළවෙනි මවුසය (mouse) හැදුවා.
First Computer Mouse
1965 දි PDP 1 හදපු "Digital Equipment Coperation" කියන සමාගමම ලෝකයේ පළවෙනි ක්ෂුද්‍ර පරිගණකය (mini computer) හැදුවා. 
1971 දි ඉන්ටෙල් (Intel) සමාගමේ ටෙඩ් හොෆ් "Intel 4004" කියන ලෝකයේ පළවෙනි මයික්‍රෝ ප්‍රොසෙසරය හැදුවා. 

1974 දි ජොනතන් ටීටස් තමයි අපි දැන් පාවිච්චි කරන ජාතියෙ පරිගණකයක් එහෙම නැත්නම් පුද්ගල පරිගණකයක් (personal computer) මුලින්ම හැදුවෙ. ඒකෙ නම තමයි "මාර්ක් 8" (Mark 8). 1980 න් පස්සෙ තමයි අපි පාවිච්චි කරන ජාතියේ පරිගණක වෙළඳපොළට ආවෙ.

1981 දි මයික්‍රෝසොෆ්ට් සමාගම DOS (Disk Operating System) මෙහෙයුම් පද්ධතිය හඳුන්වලා දුන්නා. 1985 දි මයික්‍රෝසොෆ්ට් සමාගම DOS මත ක්‍රියා කරන මෙහෙයුම් පද්ධතියක් විදිහට අද අපි පාවිච්චි කරන වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියේ පළවෙනි සංස්කරණය හඳුන්වලා දුන්නා. 

1993 දි ඉන්ටෙල් (Intel) සමාගම පෙන්ටියම් පවුලේ පළවෙනියා ඒ කියන්නෙ Pentium I හඳුන්වලා දුන්නා. 1995 දි මයික්‍රෝසොෆ්ට් සමාගම DOS වලින් මිදිල සවාධීනව වැඩ කරන මෙහෙයුම් පද්ධතියක් විදිහට Windows 95 හඳුන්වලා දුන්නා. 

ඇති නේද? මේව පාඩම් කරන්න ගියහම තමයි එපා වෙන්නෙ. ඒත් O/L ICT කරන අයට නම් මේව පාඩම් නොකර හොඳ ප්‍රතිඵලයක් ගන්න බෑ. ඒ වගේම A/L GIT කරන අයටත් මේව ටිකක් හරි මතක තියෙන්න ඕනෙ. එහෙනම් අපි තවත් වැදගත් පාඩමකින් හම්බ වෙමු. 

ඔයාලගෙ අදහස් comment කරන්න. නැත්නම් ඔයාලගෙ අදහස් Facebook Fanpage එ‍කට ඇවිත් කියන්නත් පුළුවන්. ලිපි share කරන්නත් ලිපියෙ පහළින් පහසුකම් තියෙනවා. ඉතින් ඒවත් පාවිච්චි කරලා අනිත් අයට දැනුම හදාගන්න උදව් කරන්න ! ජයවේවා හැමෝටම...



Photoshop හැඳින්වීම - 2 කොටස


ආයුබෝවන් යාළුවනේ.. අද අපි Photoshop දෙවෙනි පාඩම ඉගෙන ගනිමු. මුලින්ම මගෙන් අහපු ප්‍රශ්නයකට උත්තරයක් දෙන්න තියෙනවා. 👲👲 ඒ තමයි මං මේ ලිපිවල දාන දේවල් කරල බලන්න ඕන මොන Photoshop සංස්කරණයද කියලා අහලා තිබ්බා ! එ්කට මං දෙන උත්තරය ටිකක් වෙනස්. මම මේ ලිපි ඉලක්ක කරන්නේ Photoshop ගැන කිසි දෙයක් දන්නැති අයටත් එක්කයි. ඒ නිසා ආධුනික අයෙකුට මම නිර්දේශ කරන්නේ Photoshop CS2 or CS3 තමයි.

හරි පාඩම පටන් ගමු. ගිය සතියෙ මං ඔයාලට කියල දුන්නෙ Photoshop ආරම්භ තිරය ගැන. ඒ ලිපිය බැලුවෙ නැත්නම් මෙතනින් ගිහින් බලන්න. අද මං ඔයාලට Photoshop වල දැන සිටියම යුතු මෙවලම් තීරුව හෙවත් Toolbox ගැන කියලා දෙන්නයි හදන්නේ. Photoshop Tools ප්‍රධාන කොටස් 4 කට වෙන් කරනවා. පහත රූපය හොඳට බලන්න. 

Diagram of Photoshop’s Toolbox

අපි දැන් මේ කොටස් වෙන වෙනම ඉගෙන ගමු. මෙහි සඳහන් කර ඇත්තේ මේවායේ ප්‍රධාන භාවිතයයි. ඉදිරි පාඩම් වලදී මෙම tools ආධාරයෙන් ක්‍රියාකාරකම් සිදු කරන විට දී ඔයාට තවත් පැහැදිලි වේවි.

Selection Tools

Selection Tools
Photoshop හි තෝරාගැනීමක් හෙවත් selection එකක් සඳහා විවිධ tools වර්ග භාවිතා වේ. බෝහෝ අවස්ථාවල දී රූපයක් කොටසක් වෙන් කර ගැනීමට භාවිතා කරනු ලබන්නේ selection tools වේ. Selections tools කොටස් කිහිපයකි.

1.  Marquee Tools - මේවා භාවිතා කරනුයේ සමචතුරස්‍ර, සෘජුකෝණාස්‍ර, වෘත්තාකාර, ඉලිප්සාකාර තෝරාගැනීම් සඳහා යි.

2.  Move tool - යම් වස්තුවක්, තෝරාගැනීමක් හෝ ලේයරය එහා මෙහා චලනය කිරීමට භාවිතා කරයි.

3.  Lasso tools - පැහැදිලි හැඩයක් නොමැති ඕනෑම selection එකක් සඳහා මෙම tools භාවිතා වේ. විශේෂයෙන් රූපයක විහිදී ඇති වර්ණ පරාසයන් වල සීමාවන් ලකුණු කිරීමට මේවාට හැකියාවන් ඇත.

4.  Magic Wand tool - සමාන වර්ණ පරාසයක් එකවර select කල හැකිය. Option bar තුල tolerance මගින් තෝරා ගන්නා පරාසය වෙනස් කල හැකිය.

5.  Crop tool
Crop Tool
මෙමගින් රූපයක ඇති කොටසක් select කර එහි වටා ඇති ඉතුරු රූප කොටස කපා ඉවත් කල හැකිය. එසේම ඇලව පිහිටා ඇති රූප කොටස් කෙලින් කර ගැනීමට ද භාවිතා කල හැකිය.

Retouch and Paint Tools

Healing Tools Clone Tool Eraser Tool Sharpen Blur and Smudge Tools
1.  Healing tools - ඡායාරූපයක ඇති පළුදු, කැළල්, ඇස් වල රතු/සුදු පැල්ලම් ආදිය සකස් කිරීමට භාවිතා වේ.

2. Clone Tools - රූප කොටස් ඒ ආකාරයෙන්ම වෙනත් ස්ථානයකට පිටපත් කල හැකි ඡායාරූප සැකසීම් සඳහා නිතර භාවිතා වන tool එකකි.

3.  Eraser tools - රූප කොටස්, ලේයර් කොටස් හෝ selection කොටස් මකා දැමීමට භාවිතා වේ.

4.  Sharpen tool - රූපයක හෝ කොටසක වර්ණ පික්සලයන් තීව්‍ර කිරීමට භාවිතා කල හැකිය.

5.  Blur tool - රූපයක හෝ කොටසක වර්ණ පික්සලයන් නොපැහැදිලි කිරිම. (Out of Focus)

6.  Smudge tool - රූපයක හෝ රූප කොටසක වර්ණ පික්සලයන් බොඳ කර පැල්ලමක් ලෙස ඇදීමට යොදා ගත හැකිය. Fingerpaint වලට සමානකමක් දක්වයි.

Dodge Burn and Sponge Tools  Brush and Pencil Tools  Fill Tools

7.  Doge tool - රූපයක් හෝ කොටසක් එළිය කිරීමට භාවිතා වේ.

8.  Burn tool - රූපයක් හෝ කොටසක් අඳුරු කිරීමට භාවිතා වේ.

9.  Sponge tool - රූපයක් හෝ කොටසක එළිය අඳුර පාලනය කිරිමට යොදා ගැනේ.

10.  Brush & Pencil tools - තීන්ත මතින් ඇඳීම හෝ පාට කිරීමටත්, රූප කොටස් ඇඳ ගැනීමටත් භාවිතා වේ.  මෙම tool එක බෝහෝ නිර්මාණයන් සඳහා භාවිතා කරන්නාට ආකර්ශණීය වෙනස්කම් කර ගත හැකිය.

11.  Fill tools - Selection හෝ ලේයරයන් තනි වර්ණ, වර්ණ විහිදුම් සහිතව පුරවා ගැනීමට භාවිතා වේ.


මෙතනින් මේ post එක ඉවර කරනවා. අද Photoshop tools කිහිපයක් ගැන අපි කතා කලා. ඊළඟ ලිපියෙන් තවදුරටත් අපි tools ගැන කතා කරමු. ලිපිය ටිකක් දිග වැඩි වුනාද මන්දා? 😉කරපු කොටස් ගැන අපහැදිලි තැන් තියෙනවා නම් comments කරන්න. කැමැති අය ඉන්නවානම් අනිත් අයත් එක්ක මේ ලිපිය බෙදාගන්න. සුභ දවසක් !