Saturday, July 29, 2017

පරිගණකයක මූලික ක්‍රියාකාරීත්වය කැටි සටහනකින් විස්තර කිරීම

මේ පෝස්ට් එකෙන් අපි කතා කරන්නෙ පරිගණකයක මූලික ක්‍රියාකාරීත්වය කැටි සටහනකින්වි ස්තර කරන හැටි ගැන. මට මතකයි එක අවුරුද්දක වි‍භාගෙට මේ කැටි සටහන GIT විභාගෙට සම්පූර්ණ කරන්නත් ආවා. මේ තියෙන්නෙ ඒ කැටි සටහන. හරියට පේන්නෙ නැත්නම් පින්තූරෙ උඩ ක්ලික් කරල බලන්න. මට නම් මේක දැකලම එපා වෙලා.
Block diagram of Computer
අපි පාවිච්චි කරන පරිගණකයක තියෙන ප්‍රධාන කොටස් තමයි මේ සටහනේ පෙන්නල තියෙන්නෙ. සරලව කිව්වොත් අපි පාවිච්චි කරන පරිගණකයක සම්පූර්ණ ක්‍රියාවලිය මේ සටහනෙන් පෙන්නනවා. වැඩි කතා ඕන නෑ. මේකෙ තියෙන කොටස් එකින් එක පහළින් විස්තර කරන්නම්.

PROCESSOR (පිරිසකසනය හෙවත් ප්‍රොසෙසරය)

i7 Processor

මේක පරිගණකයේ් මොළය විදිහට හඳුන්වන්න පුළුවන්. CPU (Central Processing Unit) කියන්නෙත් මේකටම තමයි. අපේ සමහරු නම් CPU කියන්නෙ මුළු පරිගණක පද්ධතියටමනෙ. නොදන්න උදවිය ඉන්නව නම් අද වත් හරියට දැනගන්න ඒක CPU නෙවෙයි PSU (Personal System Unit).

මේකෙ වේගය, ඒ කියන්නෙ තොරතුරු සැකසීමේ හැකියාව මනින්නෙ හර්ට්ස් (Hz) වලින්. අද කා‍ලෙ නම් මේ වේගය ගිගාහර්ට්ස් (GHz) වලින් මනින තරමට වැඩි වෙලා. Clock Speed කියන්නෙත් ඕකටම තමා.  Motorola, AMD ව‍ගේ ගොඩක් සමාගම් ප්‍රොසෙසර් හැදුවත් ලෝකෙ අංක එකේ ප්‍රොසෙසර් නිෂ්පාදකයා වෙන්නෙ Intel සමාගම.


මේක මේ යටි පැත්තෙ පිත්තල තුඩු සිය ගානක් තියෙන පොඩි චිප් එකක්. පොඩි වුණාට ගාණ නම් හරි සැරයි. ඒ වගේම සම්පූර්ණ පරිගණකය පාලනය කරන්නෙත් මේකෙන්. ක්‍රියාකාරීත්වය අනුව ප්‍රොසෙසරයේ කොටස් 2ක් තියෙනවා.


CU - CONTROL UNIT (පාලන ඒකකය)

පරිගණකයේ වගේම පරිගණකයට සම්බන්ධ කරපු සියළුම උපාංග පාලනය කරන්නෙ මේ කොටසින්. මේ ‍කොටසින් උපාංග අතර තොරතුරු හුවමාරුව පාලනය කළත් දත්ත සැකසීමක් නම් මේ කොටසින් කරන්නෙ නෑ.


Control Unit

ALU - ARITHMETIC & LOGICAL UNIT   (අංක ගණිතමය හා තාර්කික ඒකකය)
එකතු කිරීම, අඩු කිරීම, ගුණ කිරීම, බෙදීම වගේ ගණිතමය ක්‍රියාකාරකම් වලින් දත්ත සැකසීම සිදු කරන්නෙ මේ කොටසින්. තාර්කික ද්වාර (Logic Gates) අවශ්‍ය විදිහට දත්ත සැකසුම් වලට පාවිච්චි කරන්නත් මේ කොටසට පුළුවන්. 


MAIN MEMORY (ප්‍රධාන මතකය)

RAM
ප්‍රොසෙසරයට කෙළින්ම හසුරුවන්න පුළුවන් එකම විශාල මතකය මේකයි. අපි ඔය RAM (Random Access Memory) කියන්නෙ මේකටනෙ! ප්‍රොසෙසරයෙන් දත්ත තොරතුරු හසුරුවද්දි ඒව දරාගෙන ඉන්නෙ මේ ප්‍රධාන මතකයෙන්. ඔය දාල තියෙන්නෙ රැම් කාඩ් එකක්. අද කාලෙ මේවයෙ ධාරිතාව මනින්නෙ ගිගාබයිට් (GB) වලින්. මේ ප්‍රධාන මතකය පරිගණකය අක්‍රිය කරපු ගමන් නැති වෙලා යනවා. ඒ කියන්නෙ ප්‍රධාන මතකය රැඳිල තියෙන්නෙ විදුලි බලය සපයනකම් විතරයි. ඒ හින්ද ප්‍රධාන මතකයනශ්‍ය මතකයක් කියල කියනවා.

SECONDARY STORAGE (ද්විතියික මතක ගබඩාව)

HDD

විශාල ධාරිතාවයක් තියෙන තොරතුරු ස්ථිර විදිහට, ඒ කියන්නෙ විදුලි බලය සපයන එක නැවැත්තුවට මැකෙන්නෙ නැති විදිහට ගබඩා කරන්න මේ ද්විතියික මතක ගබඩා පාචිච්චි කරනවා. පරිගණකය ඇතුළෙ තියෙන ප්‍රධාන ද්විතියික මතකය වෙන්නෙ දෘඩ තැටිය, එහෙමත් නැත්නම් හාඩ් ඩිස්ක් (Hard Disk) එක. චුම්බක ආධාරයෙන් තමයි මේකෙ දත්ත ගබඩා කරන්නෙ. අද කාලෙ හාඩ් ඩිස්ක් එකක ධාරිතාව මනින්නෙ ටෙරාබයිට් (TB) වලින්. ඒ වගේම මේ හාඩ් ඩිස්ක් ඇතුළෙ තියෙන ලෝහ තැටි මිනිත්තුවට වට 7,200 ක තරම් වේගයකින් කැරකෙනවා. දත්ත හැසිරවීමේ වේගය තත්පරයකින් දාහෙන් පංගුවක් තරම් වෙනවා (1 milisecond). හාඩ් ඩිස්ක් විතරක් නෙවෙයි, CD, DVD, Pen/Flash Drives, Memory Cards වගේ දේවලුත් අයිති වෙන්නෙ මේ ද්විතියික මතක වර්ගයටම තමයි.


පරිගණක මතකය මනින ආකාරය

පරිගණක වල මතකය මනින්නෙ බිට් (bit) හා බයිට් (Byte) කියන ඒකකයෙන්. කෙටියෙන් හඳුන්වද්දි මේ දෙකටම පාවිච්චි කරන්නෙ එකම අකුර. ඒ කියන්නෙ බිට් වලට "b" (උදා: 1 Mbps), බයිට් වලට "B" (උදා: 1 MB). මේක පැටලෙන්න පුළුවන් නිසා හොඳට මතක තියා ගන්න වෙනවා.

  • 8 bits          =   1 Byte
  • 1024 Bytes =   1 KB   (Kilo Byte)
  • 1024 KB    =   1 MB   (Mega Byte)
  • 1024 MB    =   1 GB   (Giga Byte)
  • 1024 GB     =   1 TB   (Tera Byte)
  • 1024 TB      =   1 PB   (Peta Byte)
මේකත් මෙතනම කියන්නම්. පෙන් ඩ්‍රයිව් එකක්, මෙමරි කාඩ් එකක් ගත්තම ඒකෙ කියල තියෙන GB ගාන කවදාවත් තියෙන්නෙ නෑ නේද? ඒකට හේතුව ඒවා නිෂ්පාදනය කරන සමාගම් 1024, 1000 ක් හැටියට සළකලා ඒවා නිපදවීම. ඒ කියන්නෙ 1000KB = 1MB, 1000 MB = 1GB ආදී විදිහටයි ගනන් ගන්නෙ. එතකොට 4GB පෙන් ඩ්‍රයිව් එකක තියෙන්නෙ 3.7GB වගේ ප්‍රමාණයක්.

INPUT (ආදානය)

Input Devices

දත්ත හා උපදෙස් පරිගණකයට ඇතුළත් කිරීම ආදානය විදිහට හඳුන්වනවා. එහෙම ආදාන කරන්න පාවිච්චි කරන උපාංග, ආදාන උපාංග විදිහට හඳුන්වනවා. පරිගණකය හා අපිව සම්බන්ධ කරන්නෙ ආදාන උපාංග කිව්වොත් නිවැරදියි. ආදාන උපාංග කිහිපයක් මේ විදිහට දක්වන්න පුළුවන්.

  • Key Board
  • Mouse
  • Microphone
  • Scanner
  • Joy-Stick
  • Web Camera
  • Bar Code Reader
  • MICR - Magnetic Ink Character Recognizer
  • OCR - Optical Character Recognizer
  • OMR - Optical Mark Recognizer (මෙය බහුවරණ පිළිතුරු පත්‍ර ඇගයීමට භාවිතා කෙරේ.)

OUTPUT (ප්‍රතිදානය) 


Output Devices

පරිගණකයෙන් සැකසූ ප්‍රයෝජනවත් දත්ත තොරතුරු පිටතට ලබා ගැනීම ප්‍රතිදානය විදිහට හඳුන්වනවා. එහෙම ලබාදෙන උපාංග ප්‍රතිදාන උපාංග විදිහට හඳුන්වනවා. ප්‍රතිදාන උපාංග කිහිපයක් මේ විදිහට දක්වන්න පුළුවන්.

  • Printer
  • Monitor
  • Speaker
  • Headphone
  • Projecter

INPUT OUTPUT DEVICES (ආදාන ප්‍රතිදාන උපාංග)


ආදානයත් ප්‍රතිදානයත් දෙකම කරන්න පුළුවන් උපාංග මේ විදිහට හඳුන්වනවා. මේව ගැන විෂය නිර්දේශයේ නැතත් දැනගෙන ඉන්න එක වටින නිසා කියන්න හිතුවා. ආදාන ප්‍රතිදාන උපාංග කිහිපයක් මේ විදිහට දක්වන්න පුළුවන්.
  • Touch Screen 
  • Memory Card Reader
  • USB Modem
ඔන්න පාඩම ඉවරයි. මේ දේවල් ගැන වැඩිදුර දැනගන්න දෙයක් තියෙනව නම් හරි පහළින් comment එකක් දාන්න. ඉක්මන් පිළිතුරක් ඕනෙ නම් ඔයාලගෙ අදහස් comment කරන්න. නැත්නම් ඔයාලගෙ අදහස් Facebook Fanpage එ‍කට ඇවිත් කියන්නත් පුළුවන්. 



Monday, July 24, 2017

HTML සරලව ඉගෙන ගනිමු - 1 කොටස


අද මං ඔයාලට අලුත් පරිගණක භාෂාවක් කියල දෙන්නයි යන්නේ. (මේක අලුත් කිව්වට ආධුනික අයට තමයි අලුත් වෙන්නේ 😃😃😃) ඒ තමා HTML එනම් Hyper Text Markup Language. ඇත්තටම කිව්වොත් මේක පරිගණක ක්‍රමලේඛන භාෂාවන් අතරට ම අයත් වන්නේ නෑ. පහසුවෙන් ඉගෙනගත හැකි Markup Coding Language එකක් විදියට තමයි සලකන්නේ. අන්තර්ජාලයේ ඇති බොහෝ වෙබ් පිටු පවතින්නේ HTML කේත ලෙසිනි. HTML මගින් වෙබ් පිටුවක අකුරු, රූප ශබ්ද හා ඊට සම්බන්ධ වෙනත් දෑ පැවතිය යුතු ආකාරය තීරණය කරයි. ඔයාලට මම මෙහෙම උදාහරණයකින් ඒක පැහැදිලි කරන්නම්. 🌼

" ඔයාලා Microsoft Word මෘදුකාංගය පාවිච්චි කරලා තියෙනවා නම්, ඔයාලා ලියුමක් type කරලා ඒක formatting කරනවානේ. මාතෘකාව bold කරලා, අකුරු වර්ගය වෙනස් කරලා, පාට දාල, වගු ඇඳලා, එක්කෝ clipart දාලා ඒ ලියුම ලස්සන කරනවනේ." ඒ වගේ තමයි HTML වලින් කරන්නෙත් වෙබ් පිටුවක ලියා ඇති දේවල් හැඩගන්වන එක.

නමුත් word වල වගේ නෙවෙයි html වල එම formatting කරන්න විශේෂ කේත භාවිතා වෙනවා. මේවා Tags ලෙස හඳුන්වනවා.


HTML විවිධ අනුවාදන හෙවත් සංස්කරණයන් යටතේ ක්‍රියාත්මක වෙනවා. මෙහි පළමු සංස්කරණය සහ මෙය සොයා ගැනීමේ ගෞරවය හිමිවන්නේ www හෙවත් ලෝක විසිරි වියමන නිර්මාණය කල පරිගණක විද්‍යාඥ බ්‍රිතාන්‍ය ජාතික ආචාර්ය තිමති ජෝන් බර්නර්ස් ලි මහතා වෙතයි. 

මෙහි නවතම සංස්කරණය වන්නේ HTML 5.0 යි.  මෙම සංස්කරණය වඩාත් පෙරළිකාර වන අතර, වෙබ් පිටු සඳහා Audio, Video, Animation, Scripts කිසිදු plug-ins නොමැතිව ක්‍රියාත්මක කිරීමේ හැකියාව ඇත. මීට අමතරව HTML 4.0 සංස්කරණයේ දක්නට නොතිබූ බොහෝ Tag මෙහි දියුණු කර ඇත.  මෙහි විශේෂ ලක්ෂණ කීපයක් පහතින් දක්වා ඇත. 

දැන් අපි බලමු සරල HTML වැඩසටහනක් ලියන්නෙ කොහොමද? එහි මූලික සැකැස්ම (Body Layout) මොන ආකාරයෙන්ද කියලා.


<!DOCTYPE html> 
<html>
<head>
     <title>Page Title</title>
</head>
<body>

     <h1>My First Heading</h1>
     <p>My first paragraph.</p>

</body>
</html>

HTML දන්න කෙනෙක් මේක බැලුවම කියයි අර උඩින්ම තියෙන tag එක වැදගත් නෑ කියල. ඒකෙන් ඇති ප්‍රයෝජනයක් නෑ කියලා. නෑ ඒක වැරදි, ඒකෙන් තමයි web browser එකට කියන්නෙ HTML 5.0 version එකට අදාල tags ලියන්නෙ කියලා. ඒක නොදා කලින් සංස්කරණයේ තිබූ tags වෙබ් පිටුවෙ වැඩ කලත්  HTML 5.0 tags වැඩ කරන්නෙ නෑ.  

හොඳයි අදට ඇති. අපි තවත් post එකකින් හම්බවෙමු. ඔයාලගෙ අදහස් comment කරන්න. නැත්නම් ඔයාලගෙ අදහස් Facebook Fanpage එ‍කට ඇවිත් කියන්නත් පුළුවන් !  ඒ වගේම Share කරන්න කැමැති අය පහළ ඇති Buttons භාවිතා කරන්න.





Sunday, July 23, 2017

Photoshop හැඳින්වීම - පළමු කොටස


2D, 3D පරිගණක Graphic ලොව ඡායාරූප සංස්කරණයේ ප්‍රබලතම මෘදුකාංගයක් වශයෙන් Photoshop භාවිතා වේ. Photoshop යනු අතිශයින්ම ප්‍රායෝගිකත්වයට නැඹුරු වූ, ප්‍රායෝගිකත්වය තුළින් ම තම නිර්මාණශීලිත්වය ඔප් නංවා ගත හැකි මෘදුකාංගයකි. Photoshop හි හැකියාව මෙතෙකැයි කියා සීමා කරවීමට නොහැකිය. ඔයා Photoshop සමඟ සමීප වන කාලය වැඩිවෙත්ම ඔබට මනා නිර්මාණශීලී හැකියාවන් මෙමගින් වැඩි දියුණු කර ගත හැකිය. මෙම ලිපි පෙළ Photoshop සිද්ධාන්ත එකින් එක විස්තරාත්මකව පැහැදිලි කිරීමක් නොවේ.  මෙම ලිපි මගින් Photoshop වෙත ඇලුම් කරන්නන් හට බොහෝ දේ දැන ගත හැකි වනු ඇත.

Photoshop විවිධ සංස්කරණයන් යටතේ බිහිවූ අතර වර්ථමානය වන විට CC සංස්කරණය ජනප්‍රියව ඇත. නමුත් ආධුනික ඔයාල Photoshop CS3/4 වැනි සංස්කරණයන් පළමුව භාවිතා කිරීම වඩාත් සුදුසු වේ.  හොඳයි ! අපි එහෙනම් Photoshop මූලික පරිසරය ගැන පළමුව ඉගෙන ගනිමු.

How to Start Adobe Photoshop :

  • Click Start > All Programs > Adobe Master Collection > Adobe Photoshop CS2
  • Click Start > Run > Type "photoshop" > Click OK

Tool Bar - ආම්පන්න තීරුව
අතිශයින් වැදගත් තීරුවකි. මෙහි ඇති මෙවලම් භාවිතයෙන් තමයි ඔයාගේ නිර්මාණය ගොඩනැගෙන්නේ.  අපි මේ පිලිබඳව ඉදිරියට කතා කරමු.

Option Tools - වත්කම් තීරුව
මෙයට Property bar ලෙසද කියනු ලැබේ. මෙය ද අතිශයින් වැදගත් තීරුවකි. ඔබ තෝරාගන්නා Tool එකකට ඇති අමතර හැකියාවන් හා ඒවා ඔබගේ නිර්මාණයට තෝරා ගැනීමට මෙම තීරුව වැදගත් වේ.

Palettes - ඵලක (පැලට්ස්)
Photoshop විධිවිධාන තෝරාගැනීම් සඳහාත්, Image එක පාලනය කිරීමටත් භාවිතා වේ.

Design Board / Workspace
Image එකක් සමඟ වැඩ කරනු ලබන්නේ මෙම ප්‍රදේශය තුළයි.


හොඳයි, අද මං ඔයාලට කියල දුන්නෙ Photoshop ආරම්භ තිරය ගැන. මෙහි ඇති කොටස් පිළිබඳව වැඩි විස්තර සහිතව තවත් ලිපියකින් හමුවෙමු.  Share කිිරීමට පහත buttons භාවිතා කරන්න.





තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ වැදගත්කම


ඔන්න මම තවත් පාඩමක් අරගෙන ආවා. ඒ අළුත් වෙනසක් එක්ක. ඒ වගේම මම හිතුවා GIT පාඩම් විතරක් මුලින්ම අරගෙන එන්න. ඒත් ICT එක්ක බැලුවම GIT වල තියෙන්නෙ පොඩි වෙනසක් නිසා ICT කරන අයටත් මේ පාඩම් ගොඩක් වැදගත් වෙයි. 

අද අපි කතා කරන්න යන්නෙ තොරතුරු තාක්ෂණයෙ තියෙන වැදගත්කම ගැන. දැන් නම් තොරතුරු තාක්ෂණය කියන්නෙ අපිට නැතුවම බැරි දෙයක්නෙ. ඒකට හේතුව තමයි එදිනෙදා ජීවිතයෙදි අපිට මුහුණදෙන්න වෙන සමහර ගැටළු වලට ඉක්මන් ඒ වගේම ගොඩක් සාර්ථක විසඳුම් තොරතුරු තාක්ෂණය පාවිච්චි කරල ලබාගන්න පුළුවන් නිසා. ඉතින් මේ විදිහට තොරතුරු තාක්ෂණය පාවිච්චි කරන මේ යුගයට "තොරතුරු තාක්ෂණ යුගය" එහෙමත් නැත්නම් "ICT Age" කියල තමයි කියන්නෙ! 😉

අහල ඇතිනෙ සංවර්ධනය වෙච්ච රටවල්, සංවර්ධනය වෙමින් පවතින රටවල් ගැන. අපේ රටත් ඉතින් දන්න කාලෙක ඉඳන් දෙවනියට කියපු ගොඩටනෙ අයිති වෙන්නෙ. ඉතින් ඔය රටවල් වර්ග දෙක අතර පරතරයත් තොරතුරු තාක්ෂණය නිසා අඩු වෙනවා. තොරතුරු තාක්ෂණය පාවිච්චි කරල ඔය රටවල් වර්ග දෙක අතර දැනුම බෙදාගන්න පුළුවන් නිසා ඒ අංශයෙන් තමයි පරතරය අඩු වෙන්නෙ. 

තොරතුරු තාක්ෂණය මොන ක්ෂේත්‍රවල මොන විදිහටද පාවිච්චි කරන්නෙ කියල අපිට මේ විදිහට කෙටියෙන් කියන්න පුළුවන්. 

  • බැංකු ක්ෂේත්‍රය (ATM, ක්‍රෙඩිට් කාඩ්, අන්තර්ජාල මුදල් හුවමාරුව)
  • සන්නිවේදන ක්ෂේත්‍රය (දුරකථන ක්‍රියා කරවීම, අන්තර්ජාලය, ෆැක්ස්)
  • ප්‍රවාහන ක්ෂේත්‍රය (ටිකට්පත් නිකුත් කිරීම, ගුවන් යානා හැසිරවීම, මාර්ග සංඥා මෙහෙයවීම)
  • මාධ්‍ය ක්ෂේත්‍රය (විකාශන විසුරුවාහැරීම, පටිගත කිරීම, ශ්‍රව්‍ය හා දෘශ්‍ය නිර්මාණ සංස්කරණය)
  • වෛද්‍ය ක්ෂේත්‍රය (ECG, EEG, CT, MRI, US ස්කෑන්, රසායනික විශ්ලේෂණ, සැත්කම්)
  • අධ්‍යාපන ක්ෂේත්‍රය (පරිගණක සහයක ඉගෙනුම [CAL], පරිගණක සහයක ඇඳීම [CAD], ඉදිරිපත් කිරීම්, ප්‍රකාශන, ගවේෂණ)
  • ආරක්ෂක ක්ෂේත්‍රය (මිසයිල හැසිරවීම, සංඥා හැසිරවීම, න්‍යෂ්ටික විෂ්ලේෂණ)
අම්මෝ.. තව කියනවනම් ඕන තරම් තියෙනවා. වචන ටික නම් බර වැඩියි. මේ කියපු දේවල් දිහා බැලුවහම සමාජය සංවර්ධනය කරන ප්‍රධාන ආයුධය විදිහට තොරතුරු තාක්ෂණය හඳුන්වන්න පුළුවන්. 

ඔයාලගෙ අදහස් comment කරන්න. නැත්නම් ඔයාලගෙ අදහස් Facebook Fanpage එ‍කට ඇවිත් කියන්නත් පුළුවන්...! ලිපි share කරන්නත් පහළින් පහසුකම් තියෙනවා. මෙම තොරතුරු මිනිසුන් අතරට share කරන්න පුළුවන්නම් ඒක කරන්න. 😙




තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය හැඳින්වීම


මම අද ඔයාලට කියල දෙන්න යන්නෙ මේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය කියන්නෙ මොකක්ද කියලා. ඒකට ඉතින් ඉතිහාසය ගැන පොඩ්ඩක් කතා කරන්නම වෙනවා.

ගල් යුගේ මිනිස්සුන්ට තිබුනෙ මූලික අවශ්‍යතා විතරයිනෙ. ඒ මොනවද කියල ඉතින් කියන්න ඕන නෑනෙ. ඔහොම හිටපු මිනිස්සු එ‍ඩේර යුගේට පරිණාමය වුණා. ඒත් වැඩි වෙනසක් නෑ. සත්තු කොටු කරගෙන හදන්න පටන් ගත්තා. ඉතින් ඔහොම ගිහින් ගොවි යුගේටත් ආව කියමුකෝ. ගොවි යුගයෙදි මිනිස්සුන්ගෙ අවශ්‍යතා වැඩි වුණා. ඒත් එක්කම දේපල වගේම දැනුමත් වැඩි වුණා. දැන් ඉතින් මේ දේවල් ගැන හැමදේම මතක තියාගෙන ඉන්න එක මිනිස්සුන්ට ටික ටික අමාරු වැඩක් වුණා. ඉතින් එයාල තමන්ගෙ තොරතුරු රැස් කරලා තියා ගන්න උත්සාහ කළා. ඒකෙ ප්‍රතිඵලයක් විදිහට තමයි මිනිස්සු අකුරු, සංකේත වගේම ඉලක්කම් පාවිච්චි කරන්න පටන් ගත්තෙ.

මේ විදිහට තොරතුරු හසුරුවන්න පටන් ගත්ත මිනිස්සු ටික ටික දියුණු වෙද්දි ඒකට තාක්ෂණ‍ය පාවිච්චි කරන්න පටන් ගත්තා. හැබැයි මේ ගැන ඉතිහාසය මිනිස්සු මුද්‍රණ ක්‍රම හොයාගත්ත කාලෙ වෙනකම් ඈතට යනවා. අපි ඒ ගැන පස්සෙ කතා කරමුකෝ. ඔය කොම්පියුටරේ කියන ගැජමැටික් එක හොයාගත්තට පස්සෙ තොරතුරු හසුරුවන එකේ ලොකු වෙනසක් ඇති වුණා කියනවනෙ. 😺 ඔය කොම්පියුටරේ කිව්වට ඕක මුල් කාලෙ "ගණක රාමුව" නැත්නම් "ඇබකසය" කියන තත්වෙ තමයි තිබ්බෙ. අද වගෙ කරන්ට් එකෙන් දිව්වෙ නෑ. ගණක රාමු එහෙම දැකල ඇතිනෙ. ඒ ගැනත් අපි ඉස්සරහට කතා කරමු.

අද වෙනකොට තොරතුරු හැසිරවීම ගොඩක් දියුණු වෙලා. දැන් ඉතින් විද්‍යුත් මාධ්‍යයෙන්නෙ සේරම වැඩ! ඉතින් අපි දැනට කතා කරපු දේවල් එක්ක අද අපි පාවිච්චි කරන තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය කියන්නෙ මොකක්ද කියලා අපිට මේ විදිහට කෙටියෙන් කියන්න පුළුවන්.

" තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය කියන්නෙ විද්‍යුත් මාධ්‍යයෙන් තොරතුරු රැස් කරන්න, ඒව සකස් කරන්න, ගබඩා කරල තියාගන්න වගේම අනිත් අය එක්ක බෙදාගන්න පාවිච්චි කරන තාක්ෂණයන් ඔක්කොගෙම එකතුවක්. "

මං හිතනව මේ දේවල් වලින් ඔයාලට පොඩි හරි ප්‍රයෝජනයක් වෙයි කියලා. ඔයාලගෙ අදහස් comment කරන්න. නැත්නම් ඔයාලගෙ අදහස් Facebook Fanpage එ‍කට ඇවිත් කියන්නත් පුළුවන්...! ලිපි share කරන්නත් ලිපියෙ පහළින් පහසුකම් තියෙනවා. 


පරිගණකයක් හඳුනාගැනීම




අපි කලින් පාඩමෙන් ඉගෙනගත්තා තොරතුරු තාක්ෂණ මෙවලම් ගැන. අද අපි තවත් පාඩම් කොටසක් පටන් ගන්නයි යන්නෙ. දන්නවද පරිගණකයක් කියන්නෙ මොකක්ද කියලා? එක එක අය එක එක විදිහට මේ ගැන හිතාගෙන ඇති. එහෙනම් අපි බලමු ඇත්තටම පරිගණකයක් කියන්නෙ මොකක්ද කියලා.

ඇත්තටම පරිගණකයක් කියලා කියන්නෙ අපි හිතාගෙන ඉන්න දේ නෙමෙයි. හරියටම කියනව නම් "ක්ෂුද්‍ර පිරිසැකසුම් චිපයක්" (micro processor chip) තියෙන ඕනම උපකරණයක් පරිගණකයක් කියලා අපිට කියන්න පුළුවන්. සරලව කියනව නම් ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වෙන්න පුළුවන් ඕනම විදුලි උපකරණයක් පරිගණකයක් කියලා කියන්න පුළුවන්. එහෙම බැලුවම රයිස් කුකර් එකත් පරිගණකයක් තමයි. 👀 ඇයි ඒකත් බත ඉදුනම ඉබේ off වෙනවනෙ.

ඒ කොහොම වෙතත් අපි පරිගණකයක් කියල කියන්නෙ අපි game ගහන, ඉන්ටර්නෙට් යන, වින්ඩෝස් දාල තියෙන, කී බෝඩ් මවුස් වලින් පාලනය කරන්න පුළුවන් දේකටනෙ. ඉතින් මෙතන ඉඳලා ඉස්සරහට අපිට කතා කරන්න තියෙන්නෙත් ඒක ගැන තමයි. ඒත් කලින් කියපු ඇත්තටම පරිගණකයක් කියන්නෙ මොකක්ද කියන එක අමතක කරන්න එපා.

දැන් අපි හැමෝම දන්න කියන පරිගණකය ගැන හොයල බලමු. මේක භාවිතා කරන කෙනා ඇතුළු කරන දත්ත තොරතුරු (input) ගණිතමය,තර්කමය ක්‍රම වලින් සකස් කරල (process) තොරතුරු පිටතට දෙන (output), ඒව ගබඩා කරල තියා ගන්න පුළුවන් (store), සකස් කරපු වැඩසටහනකින් දුවන විද්‍යුත් යන්ත්‍රයක්. 

පරිගණකයක පිටින් පේන්න තියෙන දේවල් පහළ පින්තූරෙන් විස්තර කරල තියෙනවා. ලොකු කරලා බලන්න පින්තූරය උඩ click කරන්න.





ඔයාලගෙ අදහස් comment කරන්න. නැත්නම් ඔයාලගෙ අදහස් Facebook Fanpage එ‍කට ඇවිත් කියන්නත් පුළුවන්...! 




      

Thursday, July 20, 2017

තොරතුරු තාක්ෂණ මෙවලම්


තොරතුරු තාක්ෂණය පාවිච්චි කරනකොට අපිට හම්බවෙන උපකරණ වලට තොරතුරු තාක්ෂණ මෙවලම් එහෙම නැත්නම් IT Tools කියල කියනවා. මේවත් ප්‍රධාන කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන්.

පළවෙනි එක තමයි "සාම්ප්‍රදායික මෙවලම්". මේව බොහෝ දුරට පරිගණක තාක්ෂණය එන්න කලින් පාවිච්චි කරපු දේවල්. පහළ තියෙන්නෙ ඒවට උදාහරණ ටිකක්.
  • දුරකථනය
  • ගුවන් විදුලිය
  • රූපවාහිනිය
  • පුවත්පත් 
දෙවෙනි එක තමයි "නූතන මෙවලම්". මේව බොහෝ දුරට පරිගණක තාක්ෂණය ආවට පස්සෙ ඒ ආශ්‍රයෙන් ආපු දේවල්. මෙවලම් කිව්වම අදහස් වෙන්නෙ අතින් අල්ලන්න පුළුවන් දේවල්නෙ. ඒත් මෙතනදි එහෙම නෑ. බලන්නකො පහළ තියෙන උදාහරණ ටික.
  • SMS
  • MMS
  • විද්‍යුත් තැපෑල  
  • අන්තර්ජාලය 
ඔන්න තොරතුරු තාක්ෂණය හඳුන්වල දීම මෙතනින් ඉවරයි. ඊළඟට අපිට කතා කරන්න තියෙන්නෙ කොම්පියුටරයක් කියන්නෙ මොකක්ද කියන එක ගැනයි ඒකෙ ඉතිහාසය ගැනයි. 

ඔයාලගෙ අදහස් comment කරන්න. නැත්නම් ඔයාලගෙ අදහස් Facebook Fanpage එ‍කට ඇවිත් කියන්නත් පුළුවන්...! 



      

Saturday, July 15, 2017

GIT විභාගය කිරීමට හේතු, එහි වැදගත්කම හා එය සමත්වන මාර්ගය

A/L GIT උසස් පෙළ පළමු වසර අවසානයේදී පැවැත්වෙන අතර ඊට එක වරක් පමණක් සහභාගී වීමට ඔබට අවස්ථාව ලැබෙනවා. සාමාන්‍ය පෙළ ICT Application (OFFICE), සරළ Logic Gates, Number Systems, Flow Charts, Computer Evolution පහසුවෙන් ඉගන ගන GIT ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිවිය හැකියි. විශේෂයෙන්ම O/L ICT සමත් වූ කෙනෙකුට GIT ප්‍රශ්න පත්‍ර වලට තනිවම හෝ කණ්ඩායම් වශයෙන් පිළිතුරැ දී විභාගයට පෙනී සිට සමත් වන්නට පුළුවන්. එසේ නොවන අයකුට සාමාන්‍ය පරිගණක දැනුමක් ඇතිනම් මූලික පරිගණක සහා Application පැය 16-24 අතර ගුරුවරයකුගේ සහයෙන් ඉගන ගැනීමෙන් A/L GIT කර සමත් වන්නට පුළුවන්. 👍

පාසැල් කාලයේදී එක්වරක් පමණක් මුහුණ දිය හැකි A/L GIT විභාගයට ප්‍රථම වසරේදී පෙනී සිටීමෙන් ඊළඟ වසරේ උසස් පෙළ විභාගයට පෙරහුරුවක් ඔබට ලබාගත හැකි අතර, GIT සහතිකය මග හැරීමෙන් ඔබ උසස් පෙළ කාලයේදී ICT ප්‍රගුණ නොකල අයකු ලෙස පෙනී යන්නට පුළුවන්. විදේශීය ශිෂ්‍යත්ව, උසස් විශ්ව විද්‍යාල, පුද්ගලික හා රාජ්‍ය රැකියා තරඟයේදී රජයෙන් නොමිලේ ලබාගත හැකි සහතිකයක් අහිමි කර ගැනීම කිසිසේත් සුදුසු නොවේ. අමතර සහතිකයකට ලැබෙන එක ලකුණක වටිනාකම තීරණාත්මක වුවහොත්, පසුතැවිලි වන්නට ඉඩ නොතබන්න. විභාග දෙපාර්තමේන්තුවේ සහතිකයක් ජීවිත කාලයටම වටිනා බව සිහියෙහි තබාගන්න.

උසස් පෙළ සිසුවකු GIT සඳහා ඉගෙනගෙන විභාගය නොකර සිටීමේ දත්ත සලකා පාසලේ ICT අධ්‍යාපන තත්වය බාල වීමක් ලෙස පෙනී යා හැකි අතර, ICT ඉගැන්වූ ගුරුවරුන්ගේ ප්‍රගතියද අඩු බව පෙනී යා හැක. දැන්ම ආරම්භ කළත් තරමක් මහන්සි විය හැකිනම් GIT ඉහළින් සමත් වීම අපහසු නොවේ.


ඉදිරියේදී මෙම බ්ලොග් අඩවිය හරහා ICT හා GIT වලට අදාළ පාඩම් රැසක් ඔයාලට කියාදීමට මම අදහස් කරගෙන සිටිමි. පරිගණක පන්ති සාර්ථක කරගැනීමට ඔබ ලබාදෙන සහය වගේම මෙම ක්‍රියාවලියටත් ඔබේ නොමසුරු සහය මම බලාපොරොත්තු වෙමි. 😊

ඔයාලගෙ අදහස් comment කරන්න. ලිපිය share කරන්නත් අමතක කරන්න එපා !